නීතී සංගමයේ වහල් සමාජ අඩිතාලම
නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව වහල් සිස්ටමයක අඩි තාලමක්ද?
1. පූර්විකාව
ඉදිරියේදී මෙම ලියුම්කරු යනුවෙන් හැඳින්වෙන්නේ මෙම සටහන තබන මා පිළිබඳවයි.
1. 2022. 05. 23. දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතීඥ සංගමයේ යෝජනාවලියට අනුකූල නොවන නිසා ඊට සහාය නොදෙන බවයි. නිදහස් සමාජ විද්‍යාඥයෙකු වශයෙන් නීතීඥ සංගමයේ යෝජනාවලිය පිළිබඳව සමාජ විද්‍යාත්මක විවරණයක් රටට ඉදිරිපත් කිරීම ලියුම්කරුගේ යුතුකම බැවින් මෙම ලියුම්කරු විසින් මෙම විවරණය ඉදිරිපත් කරනු ලබන්නේ ලෝකයේ සියලුම ආගමික දර්ශන සහ සමාජයේ පැවැත්ම පිළිබඳව මේ තාක් ඉදිරිපත්ව ඇති සියලුම දර්ශනවාද පිළිබඳව තුළනාත්මක අධ්‍යයනයක් සිදු කළ ලෝකයේ පළමු සහ එකම පර්යේෂකයා වශයෙනි. එම පර්යේෂණය තුළින් “පරම භෞතිකවාදය“ නමින් නව දේශපාලන දර්ශනයක් සොයා ගෙන එය ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින්නෙකු වශයෙනි.
2. 1815 ගිවිසුම මගින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වූවා මෙන් නීතීඥ සංගමයේ යෝජනාවලිය මගින් රට යටත් විජිතයක් බවට පත් වුවහොත් ‘‘පරම භෞතිකවාදය“ සොයා ගත් සමාජ විද්‍යාඥයා ජීවත්ව සිටියදී ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වූයේය යන අනාගත පරපුරේ සාපයෙන් මිදීමට ලියුම්කරුට අවශ්‍යව ඇත.
3. යම් කිසි සමාජයක ජීවන රටාව ගොඩ නැගෙන්නේ එම සමාජයේ මුල් බැස ගත් ජීවන දර්ශනය අනුවයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය ඇති වී තිබෙන්නේ 1990 මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් කාමුක අතිපරිභෝජනවාදී ජීවන රටාවක් හඳුන්වා දී කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක් නිසා බව පර්යේෂණාත්මකව පෙන්වා දෙමින් මෙම ලියුම්කරු විසින් 2022.04.19. Daily News පුවත්පතේ 7 වැනි පිටුවේ ලිපියක් පල කර ඇත. එම ලිපියේ අදහසට පක්ෂව හෝ විපක්ෂව තම මතය පළ කිරීම මග හැර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බුදය ඇති වීමට හේතුව විග්‍රහ කිරීමට නීතීඥ සංගමයට නොහැකිය.
4. ඒ අනුව නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති 2022. 04. 23. දින දරණ යෝජනාවලියේ දක්වා ඇති “පසුබිම“ නමින් නම් කර ඇති ඡේදය වලංගු නැත.
5. එකිනෙක හා ප්‍රතිවිරුද්ධ මත ගැටුමක් අවසානයේ පොදු එකගතාවයක් ඇති වෙන බව හේගල්ගේ ආපෝහක න්‍යායේ දැක්වේ. පොදු එකගතාව ඇති කර ගැනීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ සමාජයේ ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙක විසින් දරණ අදහස් දෙක බවත් එය ඉදිරිපත් කළ යුත්තේ අදාළ පාර්ශව විසින් බවත් කාල් මාක්ස් පෙන්වා දුන්නේය. එසේ ඇති වෙන පොදු එකගතාව අනුව නව සමාජ ක්‍රමයක් සකස් කළ හැකි බවත් කාල් මාක්ස් පෙන්වා දුන්නේය. එංගල්ස් පෙන්වා දුන්නේ නැවක් සහ කාලතුවක්කු උණ්ඩයක් ගැටෙන ආකෘතිය අනුව පාර්ශවයන් දෙක ගැටිය යුතු බවයි. ඊට පසුව ඉතිරි වෙන සුන්බුන් වලින් නව සමාජයක් සකස් කළ යුතු බවයි. ගෝල්ෆේස් හි මතවාදී අරගලය හේගල්ගේ හා මාක්ගේ න්‍යාය අනුවත් රට තුළ සිදු වෙන හිංසාකාරී අරගලය එංගල්ස්ගේ විනාශකාරී න්‍යාය අනුවත් සිදු වෙන බව පැහැදිලි ය. අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වෙනස් වී ආණ්ඩුව පෙරළීයාම වනාහී මෙම අරගලයේදී ඇති වූ පොදු එකගතාවය යි. එය සමස්ත අරගලකරුවන්ගේ ජයග්‍රහනයයි. නව ආණ්ඩුව නව සමාජ ක්‍රමයක් සඳහා ව්‍යවස්ථාවක් සකස් කරමින් සිටියි. දැන් අරගලකරුවන් විසින් මත වාද ඉදිරිපත් කළ යුත්තේ හේගල්ගේ සහ කාල් මාක්ස්ගේ දේශපාලන ඉගැන්වීම් අනුව ව්‍යවස්ථාව සකස් කර ගැනීම වෙනුවෙනි. අරගලකරුවන්ගේ පාර්ශවය නියෝජනය කරමින් නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇත්තේ කාල් මාක්ස්ගේ සහ හේගල්ගේ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැණි යෝජනාවලියක් බව පෙන්වා දීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි.
6. මීට පෙර අරගලකරුවන්ගේ පාර්ශවය නියෝජනය කළ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා 2022. 05. 23. හිරු ටීවී ට පැවසුවේ හැම දේම වැඩක් නෑ කියන චව් චව් කෙනෙක් නොවිය යතු බවයි. සිදු වී ඇති වෙනස්කම් වල හොඳ පැත්ත කතා කළ යුතු බවයි. 2022. 05. 23 දින බෙල්ලන්විල ධමමරතන හිමි පෙන්වා දුන්නේ යම් වරදකට වැරදි ක්‍රමයට ප්‍රතිචාර නොදිය යුතු බවයි. ඉන් සිදු වෙන්නේ සමාජය විනාශ වෙන බවයි. මහ බැංකු අධිපතිවරයා පැවසුවේ සමාජය ප්‍රගතිය කරා යමින් තිබෙන බවයි. එම ප්‍රකාශ වලින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව විසින් තම වැරදි හදාගෙන ප්‍රගතිය කරා යමින් සිටින විටත් චව් චව් දර්ශනය අනුව මාධ්‍ය ප්‍රකාශ කරමින් විපක්ෂය විසින් ජනතාව උසි ගන්වන බවයි. විපක්ෂය සැරසෙන්නේ එංගල්ස්ගේ විනාශකාරී න්‍යාය අනුව සමාජය විනාශ කිරීමට බවයි. විපක්ෂය ලවා සමාජය විනාශ කොට එම සුන් බුන් අතුරින් නීතීඥ සංගමයේ යෝජනාවලිය අනුව ලංකාවේ වහල් සමාජ ක්‍රමයක් ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින්නේද යන සැකය මෙහිදී මතු වේ.
2. සිස්ටම් චේන්ජ් කිරීමට නිතීඥ සංගමයට තිබෙන සුදුසුකම කුමක්ද?
1. ඩීසල් සිස්ටමයක් ගෑස් සිස්ටමයක් බවට පරිවර්නය කරන්නේ නම් වාහන හිමිකරු විසින් අදාළ කාර්යය පවරන්නේ මෝටර් රථ යාන්ත්‍ර විද්‍යා දැනුම තිබේ යැයි තමන් විසින් විශ්වාස කරනු ලබන කාර්මිකයෙකුටයි. නැතහොත් වාහනය පුපුරා යා හැකිය. සමාජ සිස්ටමයක් වෙනස් වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන සමාජ විද්‍යා මූලධර්ම සමාජ විද්‍යාවේ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කරන්නේ දේශපාලන දර්ශනයට අනුවයි. එම දැනුම තමන්ට තිබේද යන්න නීතීඥ සංගමය ජනතාවට පැවසිය යුතුය.
3. සිස්ටමය වෙනස් කළ යුත්තේ කවර දාර්ශනික පසුබිමක සිටද?
නීතීඥ සංගමයේ යෝජනාවලිය කුමන දේශපාලන දර්ශනයකට අනුව සකස් කර තිබේද යන්න සඳහන් කර නැති හෙයින් එහි දාර්ශනික පසුබිම විමර්ශනය කළ යුතුව ඇත. එම යෝජනාවලිය මගින් බිහිවෙන්නේ කුමන ආකාරයේ සිස්ටමයක්ද යන්න එවිට පුරෝකථනය කළ හැකිය.
2. හේගල්ගේ දර්ශනය තුළ ප්‍රමුඛ වන්නේ පොදු ජන මතය යි. කාල් මාක්ස්ගේ දර්ශනය තුළද ප්‍රමුඛ වී ඇත්තේද පොදු ජන මතයයි. කාල් මාක්ස්ගෙන් පසුව මාක්ස්ගේ අනුගාමිකයන් විසින් සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශනයට භාරතීය භෞතිකවාදී දර්ශනය මිශ්‍ර කොට සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශනය උඩු යටිකුරු කොට සකස් කළ මාක්ස්වාදය මගින් දේශපාලනය, ආර්ථිකය හා නීතිය ප්‍රමුඛ සාධක බවට පත් කර පොදු ජන මතය යටපත් කර ඇත.
4. සමාජයේ ප්‍රමුඛ වන්නේ දේශපාලනය, ආර්ථිකය හා නීතියද එසේ නැතහොත් පොදු ජන මතයද යන්න නොවිසඳුණු ප්‍රශ්නයක් වශයෙන් ලෝකයේ ඉතිරි වී තිබුණි.
වාසනාවට “සමාජයේ ප්‍රමුඛ සාධකය පොදුජන මතය බව“ කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ කරන ලද පර්යේෂණයක් මගින් ලියුම්කරු විසින් සොයා ගෙන තිබෙන පසු බිමකයි.
5. “පරම භෞතිකවාදය“ නමින් උත්තරීතර ව්‍යවස්ථාවක් එහිදී සොයා ගැනිමට ලියුම්කරු සමත් වී ඇත. එය උත්තරීතර කොමියුනිස්ට් සමාජයේ ව්‍යවස්ථාව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කළ යුත්තේ උත්තරීතර කොමියුනිස්ට් සමාජ ව්‍යවස්ථාවේ මූලධර්ම මූලාශ්‍ර කොට ගෙන බව මෙහි දී පෙන්වා දී ඇත. මෙම ලිපිය ලියනු ලබන්නේ එම උත්තරීතර ව්‍යවස්ථාව කෘතියක් වශයෙන් එළි දැක්වීම සඳහා රචනා කරමින් සිටින අවස්ථාවකයි.
6. මත ගැටුම හෙවත් සංවාදය ඇති විය යුත්තේ හේතුව හා ඵලය අතර බව පරම භෞතිකවාදී දර්ශනය මගින් පෙන්වා දී ඇත. හේතුව ජනතාවයි. ජනතාව විසින් පත් කරනු ලබන ජනාධිපතිවරයා ඵලයයි. ජනතාව හා පාලකයා අතර සංවාදය පිණිස දෙපාර්ශවය විසින් තම අදහස ඉදිරිපත් කළ යුත්තේ “දේශපාලන අවිද්‍යාවෙන්“ තොරව බවත් පරම භෞතිකවාදී දර්ශනය මගින් දක්වා ඇත.
ප්‍රධාන වශයෙන් සමාජ ක්‍රම දෙකක් පවතින බව සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශනය තුළ පෙන්වා දී ඇත. මෙයින් එක් සමාජ ක්‍රමයක් වන්නේ සමාජයේ මුල් බැස ගත් ජීවන දර්ශනයට අනුව එම සමාජයේ ගොඩ නැගෙන පොදු ජන එකගතාව අනුව දේශපාලනය, ආර්ථිකය හා නීතිය සකස් වෙන සමාජ ක්‍රමය යි. එය නිවහල් ක්‍රමය යි. අනෙක් සමාජ ක්‍රමය වන්නේ දේශපාලන, ආර්ථිකය හා නීතිය මුල් වී ඊට අනුව ජනතාව හැඩ ගැසිය යුතු ක්‍රමය යි. එය වහල් සමාජ ක්‍රමය බව මාක්ස් පෙන්වා දී ඇත.
“දේශපාලනය, නීතිය, සදාචාරය, ආගම සහ දර්ශනය මිනිසාගේ ද්‍රව්‍යාත්මක සහ මානසික සම්බන්ධතා වල නිෂ්පාදනයකි. මිනිසාගේ සංකල්ප සහ අදහස් වල නිෂ්පාදකයින් වන්නේ ඔවුන්මයි. එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ඔවුන්ගේ නිෂ්පාදන බලවේග වල නිශ්චිත සංවර්ධනයක් මගින් හැඩගැසුණු නියම ක්‍රියාකාරී මිනිසුන් නිසයි“ (මාක්ස්, කේ. එංගල්ස්,එෆ්. 1969. P. 24, 25).
7. විධායක ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතාව විසින් නම් ජනතාව හේතුව වී විධායක ජනාධිපතිවරයා ථලය බවට පත් වේ. එය හේගල්ගේ හා කාල් මාක්ස්ගේ දර්ශනයටත් පරම භෞතිකවාදී දර්ශනයටත් අනුකූලය. විධායක ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරවීම සඳහා අවසාන තීරණය ගත යුත්තේ ජනතාව විසින් ඉදිරිපත් කරන යථාර්ථවාදී අදහස් සමග සංවාදයෙන් පසුව ඇති වෙන පොදු එකගතාව මත බව පරම භෞතිකවාදී දර්ශනය මගින් අලුත් මූලධර්මයක් හඳුන්වා දී ඇත.
8. ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සිස්ටම් චේන්ජ් යනුවෙන් අදහස් කරන්නේ නිෂ්පාදන අතිරික්තය සහ ස්වෛරීත්ව බලය සාධාරණව බෙදී යන පාලන ක්‍රමයක් බිහි කිරීම බව පැහැදිලිය. එම ඉල්ලීම සාධාරණය. යුක්ති යුක්තය. අප මෙහිදී විමසා බැලිය යුතු වන්නේ නීතිඥ සංගමය විසින් 2022. 04. 23 දාතමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මගින් අරගලකරුවන්ගේ අභිමථාර්ථයන් ඉෂ්ඨ වෙන්නේද යන්නයි.
9. “පාලනය ජනතාවට දෙන්න“ යැයි කියන විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් කළ යුත්තේ කුමක්ද? යථාර්ථවාදී අදහස් ඉදිරිපත් කරමින් විධායක ජනාධිපතිවරයා සමග සංවාදය ඇති කර ගැනීමට හැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කර ගැනීමයි. එවිට ස්වෛරීත්ව බලය සම සේ බෙදා ගැනීමට හැකිය.
4. නීතීඥ සංගමයේ යෝජනාවලිය පිළිබඳ විචාරය
1. නීතීඥ සංගමයේ යෝජනාවලියේ “අරමුණු“ ඡේදයේ අංක 2න් දක්වා ඇත්තේ ඔවුන් විසින් මෙම යෝජනාවලිය ගෙන එනු ලබන්නේ ආර්ථික හා දේශපාලන අර්බුදය ඇති වීම සඳහා හේතු වූ මූලධර්ම වලට ආමන්ත්‍රණය කිරීමට බවයි. මූලධර්මීය අර්බුදය වන්නේ විධායක ජනාධිපතිවරයා සිටීම හෝ ඔහු පත් කර ගන්නා ක්‍රමය නොවේ. ජනාධිපතිවරයා සමග සංවාදයක් ඇති කර ගැනීමට ව්‍යවස්ථාව මගින් යාන්ත්‍රණයක් ජනතාවට හඳුන්වා දී නැති කමයි. එම මූලධර්මීය ගැටළුව නීතීඥ සංගමය හඳුනාගෙන නැත.
ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව කෞටිල්‍යෙග් දියකාවා උකුසු න්‍යායට අනුව රට තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය යි. මෙම ලියුම්කරු විසින් ඉහත 1.3 ඡේදයේ ඒ බව දක්වා ඇත. එම මූල ධර්මීය ගැටළුවද නීතීඥ සංගමය විසින් හඳුනාගෙන නැත.
2. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අවධානය යොමු කර තිබීමත් දූෂණය පිටු දැකීම අරමුණු කර ගෙන තිබීමත් ජනාධිපති සමාව ක්‍රමවත් කිරීමත් ප්‍රශංසනීයයි.
3. නීතීඥ සංගමයේ යෝජනා අංක 1 මගින් පොදු ජනතාවගේ දෛනික ජීවිතය ඇතුළු සියලු ක්‍රියාකාරකම් නීතිමය යාන්ත්‍රණයකට යටත් වෙන බව පැහැදිලිය. ජනතාව අතර සංවාදයක් නැති නීතිමය යාන්ත්‍රණයක් මගින් කටයුතු සිදු වෙනු ඇත. ලියුම්කරු විසින් ඉහත 3.6 ඡේදයේ දක්වා ඇති පරිදි නීතීඥ සංගමයේ අංක 1 යෝජනාව මගින් ප්‍රකට වෙන්නේ වහල් සමාජයක ලක්ෂණයි
4. නීතීඥ සංගමයේ අංක 2 යෝජනාවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. ඉන්පසුව රටේ ඉරණම තීන්දු කිරීම කීප දෙනෙකු අතට පත් වේ. කිසිවෙකුටවත් වග නොකියන සංවාදයට නොඑන ස්වාධීනත්වය යනු සුපිරි ඒකාධිපතිත්වයකි. මෙම ලියුම්කරු විසින් ඉහත 3.6 ඡේදයේ සඳහන් කර ඇති මාක්ස්ගේ ප්‍රකාශය අනුව එය වහල් සමාජ ක්‍රමයක ලක්ෂණයකි.
5. නීතීඥ සංගමයේ අංක 6 යෝජනාවේ දක්වා ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කොට අගමැතිවරයා ප්‍රධානත්වය දරණ පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ආකෘතියේ රජයක් පිහිටුවිමටයි. මෙහි අගමැතිවරයා පත් කරන්නේ පක්ෂ නායකයන්ගේ එකගතාව මත කතා නායකවරයා විසිනි. වැඩි ඡන්දයෙන් පත් වුවද අගමැති විය නොහැකිය. නීතීඥ සංගමයේ යෝජනාවලිය මගින් පත් කරනු ලබන අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු සෑම සභාවකම ඇත්තේ පොදු ජන මතයට ඉඩ නොදෙන වහල් සමාජ ලක්ෂණයි. මෙම පාර්ලිමේන්තු ආණ්ඩුවේ විධායකය පැහැදිලි නැත.
6. මෙම ව්‍යවස්ථා යෝජනාවලියට අනුව තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම පුද්ගල ස්වභාවයක් නැති ජනතාවට වග නොකියන විවිධ සභා මගින් සහ නීතිමය යාන්ත්‍රණ මගින් සිදු වේ. ජනතාව විසින් දේශපාලකයන්ට ඡන්දය දෙන්නේ වගකීම බලාපොරොත්තුවෙනි. මේ ව්‍යවස්ථාව යටතේ ආර්ථික අර්බුදයක් ඇති වූ විට දේශපාලකයන්ට ජීවිත හා දේපළ වලින් වන්දි ගෙවීමට සිදු වෙනු ඇත. නීතිමය යන්ත්‍ර ක්‍රියාකරුවන් බේරෙනු ඇත.
7. ජනතාව සමග ඇති කරගන්නා යථාර්ථවාදී සංවාදය අනුව ගනු ලබන තීරණ විධායකය විසින් ක්‍රියාත්මත කළ යුතුය යන වගන්නිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෙදීමෙන් ජනාධිපතිවරයා නිවැරදි කර ගත හැකිය. ලියුම්කරු විසින් ඉහත 3.6 ඡේදයේ ඊට අදාළ මූල ධර්මය දක්වා ඇත.
එසේ තිබියදී නීතීඥ සංගමය සැරසෙන්නේ මහජන චන්දයෙන් පත් වෙන මහජන නියෝජිතයන්ගේ බලය නීතිමය යාන්ත්‍රණ මගින් තම ග්‍රහණයට ගෙන වහල් සමාජ ක්‍රමයක් බිහි කිරීමට බව නිගමනය කරමි. වැරදියට සවි කළ ගෑස් සිස්ටමයක් නිසා වාහනයක් පුපුරා යනවා මෙන් මේ යෝජනාවලිය ක්‍රියාත්මක වූවොත් සමාජය පුපුරා යන්නේය. 1818 දී සිදු වූවා මෙන් මහා ලේ වැගිරීමක් ඇති වන්නේය. එබැවින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ලක් කිරීම සඳහා අදහස් ඉදිරිපත් කිරීමේදී නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති උක්ත යෝජනාව මූලාශ්‍ර නොකර ගත යුතුය.
උපාලි ගුණසේකර බී.ඒ. (ශ්‍රී ජයවර්ධනපුර), එම්. ඒ. (කැළණිය)
නිදහස් සමාජ විද්‍යාඥ
Comments
Post a Comment